19 August 2014




කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමයක් මේ දිනවල ප්‍රවාහන කේෂ්ත්‍රයේ වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත. නවීන තාක්ෂණික යෙදීම් ප්‍රවාහන කේෂේත්‍රයට ආදේශ වීම සතුටට කරුණකි. විශේෂයෙන් බස් රථවල මාරු කාසි නොමැති අවස්ථා වලදී  මගීන්ට ඉතුරු මුදල් ලබා ගැනීමේදී විවිධ ගැටුම් ඇතිවූ අවස්ථා කොතෙකුත් වාර්තා වී තිබේ. මෙවැනි ගැටළු හමුවේ ඒවාට විසදුමක් ලෙස TOUCH TRAVEL PASS යනුවෙන් නම් කර ඇති මෙම කාඩ්පත භාවිතයට පැමිණ තිබේ. ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් හරහා ගනුදෙනු කිරීම එතරම් ආගන්තුක ක්‍රමයක් නොවුනත් TOUCH TRAVEL PASS කාඩ් පත ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් නොවේ.


එසේ නම් කුමක් ද මේ කාඩ් පත?

NFC තාක්ෂණයට අදාල නිල ලාංජනය
NFC (Near Field Communication) නැමැති තාක්ෂණය යොදා ගෙන කොන්දොස්තර මහතා සහ මගීයා අතර ගනුදෙනු සිදුකරනු ලබයි. එනම් මගීයා සතු TOUCH TRAVEL PASS කාඩ් පතේ ඇතුලත් කර ඇති දත්ත කොන්දොස්තර මහතා සතු ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම යන්ත්‍රය මගින් කියවා ලබා ගත යුතු මුදල TOUCH TRAVEL PASS කාඩ් පතින් අඩුකර බස්හිමියාගේ  බැංකු ගිණුමට බැර කරනු ලබයි. ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් භාවිතා කර ගනුදෙනු කිරිමේදී කාඩ් පත, කාඩ් පත් කියවීමේ යන්ත්‍රයකට ඇතුලත් කිරීම හෝ යන්ත්‍රය හරහා ගමන් කරවීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් NFC තාක්ෂණය යොදාගන්නා කාඩ් පතක් එහි කියවීමේ යන්ත්‍රයට ඇතුල් කළ යුතු නැත.ඒ සදහා NFC කාඩ් පත හා යන්ත්‍රය ස්පර්ශ කරවීම හෝ සෙන්ටිමීටර් කිහිපයක් ලංකරවීම ප්‍රමාණවත් ය. තවද කෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පත් යොදා ගෙන කරන ගනුදෙනු වලදී කාඩ්පත් හිමියාගේ අත්සන අවශ්‍ය වූවත් මෙම TOUCH TRAVEL PASS කාඩ් පත සදහා කාඩ්පත් හිමියාගේ අත්සන අවශ්‍ය නොවේ. මෙම කාඩ්පතක් වෙළද පොලේ රුපියල් 200 ක් වැනි මුදලකට ලබා ගත හැකි අතර එයට ජංගම දුරකථන සදහා RELOAD කරන ලෙසට ම මුදල් ඇතුලත් කිරීම සිදුකර හැක.


NFC කාඩ් පතේ අනාගතය කෙබදු වේද?

වි‍ශේෂයෙන් අඩු වටිනාකමින් යුත් මුදල් ගනුදෙනු සදහා මෙම ක්‍රමය වඩා යෝග්‍ය වේ. විශේෂයෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර, කුලි රථ වාහන(metered taxi) ගාස්තු ගෙවීම සදහා යොදාගත හැක. තවද ජංගම දුරකථන නිෂ්පාදකයන්  ද තම ජංගම දුරකථන සදහා මෙම NFC තාක්ෂණය යොදා ගැනීමට වැඩි ප්‍රවණතාවක් දැක්වීම නිසා ඉදිරියට පැමිණෙන ජංගම දුරකථන වල NFC තාක්ෂණය ද Bluetooth, wifi මෙන් අන්තර්ගත විය හැක. ඒ අනුව මෙම NFC කාඩ් පතෙහි අනාගතය කෙසේ වෙතත් NFC තාක්ෂණයෙහි එසේත් නොමැති නම් NFC Mobile Payment තාක්ෂණයේ අනාගතය ඉතා සතුටු දායක බව පැහැදිලි වේ.




TOUCH TRAVEL PASS කාඩ් පත ප්‍රවර්දනය කිරීම සදහා ප්‍රචාරණය වූ වෙළද දැන්වීමක්


0 comments: